නිරෝගී ජනතාවක්

මූලික වගකීම

  • සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය - රෝග නිවාරණය හා ප්‍රතිකාර
  • ක්‍රීඩා අමාත්‍යාංශය - ශරීර සුවතා පැවතුම් වලට පුරුදු වූ සමාජයක්

රට පුරා විධිමත් ලෙස ව්‍යාප්තව තිබූ, දශක ගණනාවක් තිස්සේ නොමිලයේ ලබාදුන්, සෞඛ්‍ය සේවාව නිසා ශ්‍රි ලංකාව ලොව පිළිගත් සෞඛ්‍ය දර්ශක වලට අනුව ඉදිරියෙන්ම සිටී. නිරෝගී ජීවිතයක පදනම වන්නේ වසවිස නැති ආහාර සහ පානීය ජලය, නිසි පෝෂණය, ශාරීරික ව්‍යායාම සහ යහපත් දිවි පැවැත්මයි. මෑතක් වනතෙක් නිරෝගී ජාතියකට උරුමකම් කී ශ්‍රි ලංකාව තුළ මේ වනවිට බෝ නොවන රෝග සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබේ. වකුගඩු රෝග, පිලිකා රෝග, හෘද රෝග, අක්මා රෝග ආදිය ඉන් ප්‍රමුඛ වේ. මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෑතක දී ව්‍යාප්ත වූ වසවිස සහිත ආහාර හා ජලය, දුෂ්පෝෂණය, නිසි ව්‍යායාම නොමැතිවීම හා වැරදි ජීවන රටාවේ.

එක් අතකින් පසුගිය සමයේ රෝහල් සහ විශේෂඥ සේවා ව්‍යාප්ත වුවද එම සේවාවන් සඳහා වූ අධික වියදම දැරීමට සාමාන්‍ය ජනතාවට නොහැකිය. අනෙක් අතින් ශ්‍රී ලංකාවේ ඇති ජෛව විවිධත්වය මත පදනම් වී ගොඩනැඟී තිබූ සිංහල වෙදකම, හා ආයුර්වේදය මෑත කාලයේ දී පසුබෑමකට ලක්වූ බව නොරහසකි. තිරසාර සංවර්ධන ඉලක්ක යටතේ නිරෝගී ජනතාවක් බිහිකරලීමේ දී දේශීය වෙදකම හා බටහිර වෙදකම යන අංග දෙකෙන්ම පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට කටයුතු කළ යුතු වේ. එක් අතකින් බෝවන රෝග ව්‍යාප්ත වීමේ පසුබිම අවම කළ යුතු වන අතර අනෙක් අතින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග වලින් ජනතාව මුදවා ගැනීම සඳහා දේශීය ආහාර, පරිභෝජන රටා සහ ශාරීරික සුවතා ක්‍රමදේවයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. කාර්මික යුගයේ ව්‍යාප්ත වූ රැකියා සංස්කෘතිය තුළ ශාරීරික ව්‍යායාම සඳහා වූ ඉඩකඩ ඇහිරී ඇති බැවින් තිරසාර යුගයකට පිවිසීම සඳහා ජනතාව සූදානම් කිරීමේ දී පාසැල් අවධියේ දී පටන් නිවැරදි ශරීර සුවතා පිලිපදින ජීවන රටාවකට ජනතාව හිරු කිරීම අත්‍යාවශ්‍යවේ. එහිදී ක්‍රීඩාව පදක්කම් සඳහා නොව නිරෝගී ජාතියක් බිහි කිරීම ඉලක්ක කර සම්පාදනය කළ යුතුවේ.